සතුට ඇත්තේ කොතැනද ?

සතුට ඇත්තේ කොතැනද ? එයට පැහැදිලි නිවැරදි නිරවුල් උත්තරයක්‌ ලබා ගැනීමද දුෂ්කරය. ජීවිතය ගැන ආගමිකව හා දාර්ශනිකව බලන අයට සතුට ඇත්තේ තම විඥානය තුල මවා ඇති නිර්වාණය හෝ ස්වර්ගය මතය. අපේක්‍ෂාවන් අභිලාශයන් හා ජීවිතයේ ඉලක්‌ක ජයගත් පසුව ලැබෙන්නේද සතුටක් ලෙස සිතන්නොද සුලභය. එමෙන්ම ජීවිතයේ අල්පේච්ඡතාවය සරල බව, අවශ්‍යතා සීමිත බව, නිවහල් බව හා නිදහස්‌ බව කෙළවර ලැබෙන මානසික උත්තේජනයද සතුටකි. මා වඩාත්ම පිළිගන්නා සතුට යන වචනයට දෙන නිර්වචනයා නම් එයයි.

මේ නිර්වචනයට දිය හැකි සරල කතාවක් මා අසා ඇත. ඔබගේ රසවින්දනයට එය මා මෙසේ ලියන්නෙමි.

මේ කතාවට පසුබිම් වන්නේ යුරෝපයේ එක්තරා රටක විලක් අසල පුංචි හුදෙකලා නිවසක තනිකඩව ජීවත් වන ධීවරයෙ පුද්ගලයෙකි. සරල ගති පැවතුම් ඇත්තෙකි. සීමිත අපේක්‍ෂා ඇත්තෙකි. අතමිට මුදල් හිඟ වූ විට තමන්ටම අයත් පුංචි ඔරුවේ නැඟ විල මැදට පැද යන ඔහු එහි වූ අන් ධීවරයන්ට වඩා සූක්‍ෂම හා දක්‍ෂ ලෙස මසුන් හත්අට දෙනෙක්‌ අල්ලාගෙන ඉතා ඉක්‌මනින් යළි විල් තෙරට පැමිණෙයි. අල්ලාගත් මසුන් කිහිපදෙනා රැගෙන තම පුංචි වාහනයේ නැග නගරයට යන ඔහු ඒ මසුන් විවෘත කඩපිලක තබා විකුණයි. අලුත් බැවිනුත්. වඩාත් ලොකු බැවිනුත් ලාභදායක බැවිනුත් ඔහුගේ මාළු ඉතා ඉක්‌මනින් අලෙවි වෙයි.

ඒ අයුරින් සොයා ගන්නා මුදලින් තමන්ට අවශ්‍ය ආහාරපාන, මත්පැන් හා අනෙකුත් කළමනා රැගෙන නිවසට නැවත පැමිණේ. එක්තරා දිනක ඔහුගෙන් මලු මිලදී ගැනීමට පැමිණෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්‌ ඔහු හා සංවාදයක පැටලුණි.

“ඔබ දක්‍ෂ ධීවරයෙක්‌. හොඳ අලුත් මාළු අල්ලාගෙන එනවා. ඒත් ඔබ මේ කර්මාන්තය ගැන උනන්දු නැහැ. ඔබ උනන්දු නම් ඔබට පුළුවන් හොඳට දියුණු වෙන්න.”

“දියුණු වෙනවා කියන්නේ……..” ධීවරයා ඇසීය..

“මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්‌. මට පුළුවන් ඔබට උදව් කරන්න. ඔබට පුළුවන් ඔබ ඔය කරන ධීවර රැකියාව කර්මාන්තයක්‌, ව්‍යාපාරයක්‌ විදිහට වැඩිදියුණු කරන්න. මට පුළුවන් ඔබට උදව් වෙන්න.”

“ඒ කොහොමද?” ධීවරයා ඇසීය.

“ඕන්නම් ඔබට පුළුවන් අපේ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා කර්මාන්ත කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක්‌ හදාරලා උපාධියක්‌ ලබා ගන්න.”

“ඊට පස්‌සේ…….” ධීවරයා ඇසීය.

“ඔබට පුළුවන් දිනපතාම මසුන් අල්ලන්න ගිහින් මාළු අල්ලාගෙන ඇවිත් හොඳ ආදායමක්‌ ලබා ගන්න.”

“ඊට පස්‌සේ…… ” ධීවරයා ඇසීය.

“ඊට පස්‌සේ ඔබට පුළුවන් හොඳ යාන්ත්‍රික පහසුකම් තියෙන අලුත් බෝට්‌ටුවක්‌ මිලදී ගෙන වැඩිපුර මාළු අල්ලාගෙන එන්න.”

“ඊට පස්‌සේ…..” ධීවරයා ඇසීය.

“ඊට පස්‌සේ ඔබ තව බෝට්‌ටුවක්‌ මිලදී ගන්නවා. තව ගෝලයෝ දෙන්නෙක්‌ අරන් මාළු ඇල්ලීමේ ව්‍යාපාරය තව තවත් දියුණු කරනවා.”

“ඊට පස්‌සේ…..” ධීවරයා ඇසීය.

“එතකොට ඔබ තමයි මේ ගමේ වැඩිපුරම මාළු අල්ලන ලොකුම ධීවරයා. ඊට පස්‌සේ ඔබ නගරයේ ලොකු මාළු කඩයක්‌ දානවා..”

“ඊට පස්‌සේ…..” ධීවරයා ඇසීය.

“ඔව්. ඔබට පුළුවන් ඊළඟට අනෙක්‌ ධීවරයො අල්ලන මාළුත් මිලට අරන් ලොකු ව්‍යාපාරයක්‌ පටන් ගන්න. ඔබේ මාළු රට පුරාම බෙදා හරින්න ශීතකරණ සහිත වාහන කිහිපයක්‌ ගන්නත් ඔබට පුළුවන්.”

“ඊට පස්‌සේ…..” ධීවරයා ඇසීය.

“එතකොට ඔබ අල්ලන මාළු ප්‍රමාණය මදි. ඔබට පුළුවන් බෝට්‌ටු විකුණල දාලා අංග සම්පූර්ණ පහසුකම් තියෙන ලොකු ට්‍රොaලර් බෝට්‌ටු දෙක තුනක්‌ මිලට අරන් විලේ ඈතට ඈතට ගිහින් මාළු අල්ලන් එන්න. එතකොට ඔබ තමයි මේ පැත්තටම ඉන්න ලොකුම පොහොසතා.

“හොඳයි. ඊට පස්‌සේ…..” ධීවරයා ඇසීය.

ඇයි එතකොට ඔබට පුළුවන්නේ ඔබ අල්ලන මාළු වලින් මේ පළාතේ සාඩින් කම්හලක්‌ අරින්න. ඔබේ අලුත් මාළු ලොරි වලින් රට පුරා බෙදාහරින අතර අමතර මාළු ටික ටින් මාළු බවට පත් කරනවා. මේ විලේ මාළු ටින් කරන්න කදිමයි.”

“ඊට පස්‌සේ…..”

“ඔව්……. ඉතින්. එහෙම දියුණු වුණොත් ඔබට පුළුවන් රටේ ලොකුම ධනවතා වෙලා ජාත්‍යන්තර වෙළෙඳපොළටත් මාළු යවන්න. ඕන්නම් ලොකු නැව් අරගෙන මාළු අල්ලලා ටින් මාළු ෆැක්‌ටරි දෙක තුනක්‌ වුණත් දමල ලෝකේ හොඳම ටින් මාළු නිපදවන්න.”

“ඊට පස්‌සේ…..”

“ඊට පස්‌සේ ඔබට පුළුවන් රටේ ලොකුම ධනවතුන් අතර ඔබේ නම ලියවගෙන ලෝකයේ වැජඹෙන්න.”

“ඊට පස්‌සේ…..” ධීවරයා ඇසීය.

“ඊට පස්‌සේ ඔබට පුළුවන් ලෝකයේ රට රටවල ඇවිඳින්න. විනෝද වෙන්න. අවශ්‍ය කෑම බීම වාහන සැප සම්පත් යස ඉසුරු ලබාගන්න.”

“ඊට පස්‌සේ…..” ධීවරයා තවදුරටත් ප්‍රශ්න ඇසීය.

“ඊට පස්‌සේ ඉතින් හම්බ කරලා ඇතිනේ. ජීවිතේ එතනින් පස්‌සේ විවේකයෙන් සතුටින් ගත කරන්න ඔබට ඇහැකිනේ.”

“ඒ කියන්නේ.”

ඒ කියන්නෙද?……. ඒ කියන්නේ ඔබට පුළුවන් ලොකු වත්තක්‌ අරගෙන දැසි දාසයෝ තියාගෙන ලොකු මාලිගාවක්‌ හදල සතුටින් නිදහසින් කාල බීල පාඩුවේ ජීවත් වෙන්න.

“ඊට පස්‌සේ…..” ධීවරයා තවදුරටත් ඇසීය.

“ඊට පස්‌සේ……. ඊට පස්‌සේ ඕනම නම් අර පේනවා වගේ මේ විල අයිනේ ඉඩමක්‌ අරන්, අර වගේ පුංචි ලෑලි ගෙයක්‌ හදාගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන්නේ. ඕනම නම් ඉර බැහැගෙන යන හවසක ඒ ගෙදර පිටිපස්‌සේ අර පේන ලෑලි බංකුව උඩ වාඩිවෙලා මධුවිතක්‌ තොල ගාමින් ගිටාරයත් වය වය සිංදුවක්‌ කියන එක මොන තරම් සතුටක්‌ ද? ඉර බහිනකොට ඒ පැත්ත මොන තරම් ලස්‌සනද? කැමැති නැද්ද ඔබ?”

“කැමතියි…….. මහත්මයා දන්නවද ඒ පේන ගෙදර කාගෙද කියලා. ඒ පේන ගේ මගේ. අදටත් මම හවසට හවසට ගිටාරයත් අරන් අර ලෑලි බංකුවේ වාඩිවෙලා මධු විතක්‌ තොල ගාලා පුංචි සිංදුවක්‌ කියනවා.”
මහාචාර්යවරයා ධීවරයාගෙන් සමුගෙන කල්පනාවක නිමග්නව යන්නට ගියේය.