ගිහිවත

පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තුවන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය.

ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදිවීමට ඉක්‌මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්‌වාමීන් වහන්සේලාගේ ස්‌වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය ස්‌වභාවය නිසා විවිධත්වයක්‌ ඇතිවීම ස්‌වභාවිකය. අප පුදුම විය යුත්තේ එසේ නොවුණහොත්ය. අනුන්ගේ වැරැදි ඔබ අතහරින්න. ඔබ ඔබේ අරමුණ කරා යන්න. පන්සලේදී හැමෝගේම සේවකයා, දාසයා ඔබ වන්න. නිදහසේ ජනතාවට වඳින්න පුදන්න සිල් පිරිසට සිව්පසය සපයන්න ඔබ මැදිහත් වන්න. අනුන්ගේ පැමිණීම දායකත්වය ඔබ නොසොයන්න. ඔබේ අරමුණ උදෙසා වෙහෙසවී සියල්ල කරන්න.

හැමගේම සිත් තුළ ඇතිවන කරුණාව මෛත්‍රියෙන් ඔබ ඔබේ ආධ්‍යාත්මික ශක්‌තිය ලෝකයට හොරෙන් ශක්‌තිමත් කරන්න. ඔබ සිදුකරන සෑම ක්‍රියාවකට අනිත්‍යය දකින්න. ඔබ මැදිහත්ව කළ ද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සැවොම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්‌තිමත් වන්න. දායකයන් උදෙසා බෝධිපූජා, පෙරහැර, කඨින පිංකම්, දානමාන සංවිධානය කොට ඔබ ඒවායේ අනිත්‍ය පමණක්‌ දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්‌තිමත් වන්න. අනුන්ගේ කුස පුරවා ඔබ නිරාහාරව ඉන්න. ඒ බව අන් අයට නොහඟවන්න. වයෝවෘද්ධ ස්‌වාමීන්වහන්සේලා සිටී නම් උන්වහන්සේලාට උපස්‌ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න.

සමාජසේවයට කැපවී අනුන් සතුටුකොට අනුනට සේවයක්‌ කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ලාභය කීර්තිය ප්‍රධානත්වය නොව, තම ඉලක්‌කය නිවන් මගය කියා අරමුණ සිහිකරන්න. ලෝකයට කොතෙක්‌ මහන්සීවී වැඩ කළද පොඩ්ඩ වැරදුන විට ලැබෙන්නේ ගල්මුල් දොස්‌ පරොස්‌ බව ඔබ දකින්න. විවේචන, අසත්පුරුෂකම්, නොසලකාහැරීම්, ලෝකයේ ස්‌වභාවය බව දකින්න. අප පුදුමවිය යුත්තේ ඒවා නොමැති නම් බව සිතන්න. අනුන්ට සේවය කරමින් අනුන්ව සතුටු කරමින්, ගුණ අගුණ අසමින් අනිත්‍යය දකින්න. ලෝකයේ ස්‌වභාවය මෙනෙහි කරමින් ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න.

රෝගීන්ට උපස්‌ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක්‌ යනු දේවදූතයෙක්‌ බව දකින්න. රෝගියාගේ කයේ ස්‌වභාවය, ඔහු විඳින වේදනාවේ ස්‌වභාවය, රෝගයේ ස්‌වභාවය ඔබට ද පොදු බව සිතන්න. ඔබේ ස්‌වභාවයද එයම බව දකින්න. ඔහුට උපස්‌ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබ මාස දෙක තුනකට වරක්‌ මහ රෝහලට, ළමා රෝලට, පිළිකා රෝහළට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්‌ටුවල ඇවිදින්න. ඔබ රෝගීන්ගේ දුක බෙදාගැනීමට නොයන්න. වේදනාවෙන් ලතෝනි දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම හඬ බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස්‌ ගැලවී ගිය. පියයුරු ඉවත් කළ රෝගී පිංවතුන් ඔබ කමටහන් කරගන්න. හින්දි සිනමාවේ සුරූපීම ශිල්පිනියටද ශිල්පියාටද මෙම ස්‌වභාවය පොදු බව දකින්න.

ඔබේ සිතට නිතර රාග සිත් ඇතිවේ නම් ඔබ කාන්තා රෝහලකට ගැබිනි වාට්‌ටුවට ලෙඩුන් බලන වේලාවට යන්න. දරු ප්‍රසූතියට සූදානම් වූ සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම් රටා ඒ අයගේ ස්‌වභාවය මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් දකින්න. එය ඔබගේ රාග සිත මරා දමනු ඇත. පාරිභෝගික විසිතුරු ලෝකයේ ඔබ මුළා කරන රස නහර පිනායන පාරිභෝගික ද්‍රව්‍ය පිරීගත් සුපිරි වෙළෙඳ සංකීර්ණවල සෑම ආහාරයක්‌ම මේ කය පෝෂණය කිරීම සඳහාය යන්න දකින්න. එහිම රාක්‌කයක ඇති විසිතුරු දවටනයක බහාලු සනීපාරක්‍ෂක තුවා ඇත්තේ කුමන අපද්‍රව්‍යයක්‌ සඳහා දැයි නුවනින් දකින්න. මලු පුරවා කරත්තය තල්ලුකොට උජාරුවට බඩු ගෙනගියද අප සැවොම පෝෂණය කරන්නේ අපවිත්‍ර ශරීරයක්‌ බව දකින්න. හැමදෙයක්‌ම කමටහන් කරගැනීමට ඔබ දක්‍ෂවන්න.

ඔබ බසයක යනවා නම් ඔබ වාඩිගත් අසුන සුදුසු ඕනෑම අයකු වෙනුවෙන් දීමට මැලි නොවන්න. ඔබ කතරගමට යැමට කොළඹින් බසයක නැඟ පානදුරට ළංවෙද්දී, ඔබගේ අසුන් සුදුසු යමෙකුට ලබාදීමට අවශ්‍යවුවහොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යැමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ වුවමනාව උදෙසා කැපකරන්න. අන් අය ඔබට අවඥාවෙන් සිනාසුනිද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබේ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්‌තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබාගන්න. අනුන්ව ආමිසයෙහි යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකය මුළාකොට ඔබ ලෝකයෙන් එතෙරවීමට මඟ හදාගන්න.

නිවන් මඟ සොයායැම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ලන් අත්හැර, සියල්ලන්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න.

ඔබ සුවසේ ලෝකයෙන් එතෙර වීමට දක්‍ෂ වුවහොත්, ලෝකයාගේම යහපත උදෙසා ලෝකයාගේම පරාර්ථය උදෙසා ඔබට මහන්සි විය හැකිය. පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න.

ඉහත ක්‍රියාකාරකම් තුළින් ඔබ ලබන සතුට ආරක්‍ෂක දෙවියන්ටද අනුමෝදන් කරන්න. ඔබ යන ගමනේදී බාධක මගහැර ආරක්‍ෂාව සලසාගැනීමට නොපෙනෙන බලවේගද සතුටුකොට, ඒ අයගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට උත්සාහ ගන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට අවශ්‍ය වේලාව පැමිණෙනතෙක්‌ ප්‍රමාද කරන්න. ඉක්‌මන් නොවන්න වගබලාගන්න. ඔබ හැමවිටම ඔබේ සිතේ අවිචාරවත් බව විචාරයට ලක්‌කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහළින් ඇති ප්‍රඥාවේ ඇසින් නිරතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්න. ඇතිවෙමින් නැතිවෙන සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න.

ඔබ තවමත් ගිහි පිංවතෙකි. ඔබේ ඉන්ද්‍රියන් කැමති හැමදෙයක්‌ම අත්දැකීමෙන් රස විඳ බලා එහි අනිත්‍යය දකින්න. ඔබට ඒ නිදහස තවම ඇත. අත්නොවිඳ, අත්නොදැක අනිත්‍යය දකින්නට යැමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතුවිය හැකිය. ඔබ වැඩියෙන් ආශා කරන, කැමති දෙයක්‌ වෙතොත්, නැවත නැවත ඒ දෙය රසවිඳ ඒ කැමැත්තෙන් මිදෙන්න. කැමති දෙය අත්දකිමින් අත්විඳිමින්, අවබෝධය ලබමින්, අනිත්‍යය දකිමින්, අත්හැරීමට පුරුදුවෙමින් “ගිහිවත” සම්පූර්ණ කොට නිවන් මඟ වඩන්නට සසුන්කෙතට පියනඟන්න.

ගිහි ජීවිතය තුළ ඔබ සිත පමණක්‌ පැවිදිකරගන්න. ඔබ පුරුදුකරන්න, අවම සම්පත් සමග හුදෙකලාව ගත කරන්න. ඔබ පරීක්‍ෂාකර බලන්න පාවහන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදිය හැකිද කියා. ඇඳුම් කට්‌ටල දෙකකින් ජීවත් වන්නට පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක්‌ ඔබට ප්‍රමාණවත්ද කියා. ඔබ කැමතිම, ආශා කරනම රූපයක්‌ ඔබට අතහරින්න පුළුවන්ද කියා. ඥාතීන්, ගේදොර අතහැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශක්‌තිය තිබෙනවාද කියා. පිළිතුර “ඔව්” නම් පැවිද්දට දැන් ඔබ සැබෑම සුදුස්‌සෙක්‌. ඉහත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබ්බට ගොස්‌ ජීවිතාවබෝධයෙන් මේ ආත්මභාවයේදීම නිවන උදෙසා වීර්යය වඩන අධිෂ්ඨානසහගතව නිවන් මඟ වැඩීමට හැකි පිංවතුන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. ශාසනය ආරක්‍ෂා කරගැනීමට, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සුගති ප්‍රාර්ථනා කරන, රට ජාතිය ආගම ආරක්‍ෂාකිරීමට බලාපොරොත්තුව පැවිදි වන පිංවතුන්ට ඉහත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. මන්ද, එම උතුමන් දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරන, නොදැනුවත්භාවය නිසා ඉහත අරමුණු තුළ සැප ඇතැයි කියනා බලාපොරොත්තුව තබාගෙන සිටින නිසාය. එවැනි උතුමන් ආරක්‍ෂාකරදෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින්, දක්‍ෂයා ලෝකයෙන් එතෙරවීමට උත්සාහවන්ත විය යුතුය. ඔබ ලෝකයෙන් එතෙරවීමට දක්‍ෂ වුවහොත් එය ශාසනය ආරක්‍ෂා කරන ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලාටද මහත්ඵල මහානිශංස කුසලයක්‌ වනවා ඒකාන්තය.